හැඳින්වීම

මා සේවය කරන ස්ථානයේ රාජකාරි අවශ්‍යතාවයක් මත මා හට පසුගිය පෙබරවාරි 8 වන දින ඇමරිකාව බලා පිටත් වීමට සිදු විය. මේ බ්ලොග් රචනයේ අන්තර්ගත වන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වන අතර කිසිම රජයේ නිලධාරියෙකුගේ රාජකාරි පිළිබඳ විවේචනයක් අඩංගු නොවේ. ඔබ එවැන්නක් බලාපොරොත්තුවෙන් මෙය කියවීමට පටන් ගත්තේ නම්, මෙය ඔබ සඳහා නොවේ..

ලං⁣කාවෙන් ඇමරිකාවට

මා ලංකාවෙන් පිටත්ව යන විට කොරෝනා තත්ත්වය මෙතරම් බරපතල වී නොතිබිණි. කෙසේ නමුදු ඒ වන විටත් තර්මල් කැමරාවක් කටුනායක ගුවන් තොටුපොළේ සවිකර තිබූ අතර, සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපොළේ එවන් කිසිඳු සූදානමක් දක්නට නොවීය. කෙසේ නමුදු ලංකාවේ සිට ඩුබායි දක්වා ගොස් එතැනින් සැන් ෆ්‍රැන්සිස්කෝ යන ගමන අතරතුර ස්ථාන 3දීම මා අවසන් වරට චීනයට සංචාරය කළේ කෙදින දැයි විමසීමට ලක් විය. මා ⁣කිසි දිනක චීනයට ගොස් නැත.

ඇමරිකාවේ සිදුවීම්

මා ලංකාවෙන් ඇමරිකාව බලා පිටත් වූයේ ආසන්න වශයෙන් මාස දෙකක කාලයක් එහි ගත කිරීමටයි. එනම් මා යළි පැමිණිය යුතු වූයේ අප්‍රේල් 8 වන දිනයි.

රාජකාරි කටයුතු කෙරීගෙන ගිය අතර ලෝකයේ තත්ත්වය එන්න එන්නටම නරක අතට හැරෙමින් පැවතිණි. චීනයට සීමා වූ බලපෑම අනෙක් රට වලටද ව්‍යාප්ත වන්නට විය.

ඇමරිකාවටද ක්‍රමයෙන් බලපෑම වැඩි වීමට පටන් ගන්නට විය. CNN හි සංජේ ගුප්තා විසින් මෙහෙය වන ලද කොරෝනා පිළිබඳ වැඩසටහන් පැය ගණන් විකාශය වන්නට විය.

හදිසියේම ලංකාවේ ගුවන්තොටුපොල රටවල් කිහිපයක සිට පැමිණෙන සංචාරකයින්ට තහනම් විය. මාර්තු 10 පමණ වන විට අරමුණු කළ දිනට ප්‍රථමයෙන් ලංකාවට පැමිණිමට මට අවශ්‍ය විය. මා ආයතනයේ ඉහළ අය මේ ගැන දැනුවත් කළ වහාම ඔවුන් ඒ සඳහා අනුමැතිය දෙන ලදි.

මා සිතුවේ අරමුණු කළ පිටත් වීමේ දිනයට සති දෙකකට පමණ පෙර එනම් මාර්තු 28 පමණ පෙරලා පැමිණීමටයි. ඒ සඳහා ආයතනය මඟින් ගුවන් ටිකට්පත් ද වෙන් කෙරිණි.

කෙසේ නමුදු මාර්තු 13 වන විට ලංකාවේ ගුවන්තොට තවත් රටවල් කිහිපයකට වැසුණු අතර ඇමරිකා⁣වේ තත්ත්වය ද නරක අතට හැරෙමින් පැවතිණි. තත්ත්වය තේරුම් ගත් මා ආතනයේ ඉහළ නිලධාරීන් ක්ෂණික ව තීරණය කළේ මා හැකි ඉක්මනින් ලංකාවට යැවීමටයි. ඒ නිවැරදි තීරණ ගත් සැමටත් මාගේ යළි පැමිණීම වෙනුවෙන් යුහුසුළුව කටයුතු කළ මව් රටේ ආයතනයේ සංචාර පිළිබඳ වැඩකටයුතු කරන දෙදෙනාටත් මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි.

ඇමරිකාවෙන් ලංකාවට

මා මාර්තු 16 සවස ඇමරිකාවෙන් නික්මුණි. ඩුබායි හරහා ලංකාවට පැමිණීමට තිබුණේ මාර්තු 18 උදේ 8.25ටයි.

මා පැමිණි ගුවන් යානය ඩුබායි වෙත ගොඩ බැස්වීමට පැය භාගයකට පමණ පෙර දුරකතනය සක්‍රිය කළෙමි. ගුවන් යානයේ ඒ සඳහා පහසුකම් සහිත විය. මා හට පුවත් SMS කිහිපයක්ම ලැබුණු අතර සමහරක කියවුණේ එදින (මාර්තු 17) මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවේ ගුවන්තතොට සියලු මගී ගුවන් යානා සඳහා වසා දමන බවකි. එය දැනගත් විට මා චකිතයට පත් වූ බව නොරහසකි. එය එසේ සිදු වුවහොත් මට ඩුබායි ගුවන්තොටට වී සිර වී සිටින්නට වනු ඇත. ඒත් මාගේ සිත කීවේ කිසිදා මගීන් අපහසුවට පත් වන ලෙස එවැනි ක්ෂණික වසා දැමීමක් සිදු නොවෙි කියායි.

මා ඩුබායි වලින් ගොඩ බැසීමෙන් අනතුරුව තවත් තොරතුරු සොයා බැලීමි. එක එක පුවත් වල එකිනෙකට වෙනස් තොරතුරු සඳහන් විය. ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත් පතක ට්විටර් පණිවුඩ වල වූයේ මා කලින් සඳහන් කළ පුවතයි. එහෙත් අසාම් අමීන් නිවැරදිව ගුවන්තොට වසා දමන්නේ 18 දින රාත්‍රියේ (19 දින පාන්දර 4ට) බැව් දන්වා තිබුණි.

මේ අතරතුර මාගේ ආයතනයේ සගයෝ හා මිතුරෝ බොහොමයක් මා සමඟ දිගටම තොරතුරු හුවමාරු කර ගනිමින් සිටියහ.

මා ඩුබායි වෙත පැමිණි A380 වර්ගයේ ගුවන් යානයේත් ඩුබායි ගුවන්තොටුපොලේත්, යලි ලංකාවට ඒමට නැඟුණු ගුවන් යානයේත් වෙනදා මෙන් සෙනඟ වූයේ නැත. ගුවන් යානා දෙකේදීම මා අසල දකුණු පසින් කිසිවෙකුත් අසුන්ගෙන සිටියේ නැත. මා අසුන් වෙන් කිරීමේදීත් අන් අය නැති ආසන තෝරා ගැනීමට උත්සුක වූයේ කාගේත් යහපත තකායි..

Empty seats inside the plane

ලංකාවට පැමිණීම

18 දින නියමිත වේලාවට මදකට කලින් ලංකාවට ගොඩ බැස්සෙමි. මා අත ගුවන් යානයේදී ලබා දෙන ලද කොරෝනා පිළිබඳ තොරතුරු පුරවන ලද පත්‍රිකාවද විය. සියල්ලන්ටම ගුවන්යානයෙන් එළියට ඒමට වූයේ ඉතා සෙමින් ගමන් කළ පෝලිමකය.

ඊට හේතුව වූයේ සියළු දෙනාවම වෙන් වෙන්ව ගුවන් හමුදා නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමට ලක් කිරීමයි. මාත් පැමිණියේ සෑහෙන චකිතයකිනි. ඒ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරාවිදෝ යන සැකය නිසායි.

කෙසේ නමුත් මාගේත් මාගේ පවුලේ අයගේත් සැලසුම වූයේ අප නව නිවසේ මා තනිවම දින 14ක ස්වයං නිරෝධායනයකට පත් විය යුතු බවයි. මාගේ කුඩා දියණියත් බිරිඳත් බිරිඳ ගේ දෙමාපියන් ගේ නිවසේ සිටින නිසා මා හට තනිවම අප නව නිවසේ පහසුවෙන් විසිය හැකි බැව් මම සිතුවෙමි. එය සිතන තරම් පහසු නොවන බව පසක් වූයේ පසුවයි.

ගුවන් හමුදා නිලධාරියෙකු විසින් මාගෙන් සෑහෙන වේලා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මට යාමට අවසර දෙන ලදි. ඒ වන විට දකුණු කොරියාව ඇතුළු සමහර රට වල සිට පැමිණි අය කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන බව පුවත් හරහා දැනගත්තද ඇමරිකා⁣වේ සිට පැමිණි මා හටද ⁣එසේ යාමට සිදු වේදෝයි සැකයෙන් මම සිටියෙමි. වාසනාවකට ⁣හෝ අවාසනාවකට මා හට නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට සිදු වූයේ නැත.

මාගේ ආයතනයෙන් සැපයූ වාහනයක මම මීරිගම හකුරුකුඹුර කැලණියවත්තෙහි වූ මගේම නිවසට පැමිණියෙමි. වාහනයේ රියැදුරු මහතාත් මුව ආවරණය දමාගෙන පැමිණ සිටියේය.

මුව ආවරණ

ඇමරිකාවේ මා නැවතී සිටි තැනෙන් පිටත් වූ තැන් සිට මාගේ නිවසට පැමිණි අවස්ථාව දක්වාම මම මුව ආවරණ පැළඳගෙන පැමිණියෙමි. පැය 6ත් 8ත් අතර කාලයකදී නව මුව ආවරණයකට මාරු වූ මම භාවිතා කළ මුව ආවරණ මාගේ බෑගයේ වෙනම කොටසක තබා ගත්තෙමි.

කෙසේ වෙතත් ඩුබායි වෙත පැමිණි ගුවන් යානයේ දී පිටත් වීමට පෝලිමේ සිටියදී මා ඉදිරියේ සිටි තරුණ මගියෙකු ගුවන් සේවිකාවක් සමඟ සුහද කතා බහක නිරත විය. ඔහු ගුවන් සේවිකාවගෙන් ඇසුවේ ඔවුන් මුව ආවරණ නොපළඳින්නේ මන්දැයි කියායි. ඇය පැවසූවේ WHO මඟින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර නැති හෙයින් ඔවුන්ගේ ආයතනයෙන් මුව ආවරණ පැළඳීම ට දන්වා නැති බවකි. අර තරුණයා මා දෙස හැරී “Remove that mask man” යැයි විහිළුවට පවසන ලදි.

කෙසේ වුවත් ගුවන් සේවිකාවන් හා ගුවන් ගමන් සම්බන්ධ සියළු දෙනා මුව ආවරණ පැළඳිය යුතුව තිබූ බව මම සිතීමි. ඒ නොයෙක් රටවල සංචාරය කළ නාඳුණන මිනිසුන් හා ඔවුන් ගැටෙන හෙයිනි.

ස්වයං නිරෝධායනයේ ආරම්භය

එන්නට එපා කීවද මාගේ පියා මා එනවිටත් මාගේ නිවසට පැමිණ සිටියේය. පැමිණි විගස මම ඔහුට පිටත්ව යන්නැයි කීවෙමි. මගේ පියාත් මවත් මීරිගම නගරයේ ඔවුන්ගේ නිවසෙහි වාසය කරති.

මා පැමිණෙන බව කැලණියවත්ත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමාට පෙර දිනයේම මපියාණන් විසින් දැනුම් දී තිබිණි. PHI මහතාටත් මාගේ පැමිණීම මාගේ බිරිඳ විසින් දැනුම් දෙන ලදි.

බිරිඳ හා දරුවා මාසයකට වැඩි කාලයක් හැබැහින් දැක නොතිබුණු නිසා ඔවුන් දැක්මට මා සිත් විය. එහෙත් අප කාගෙත් යහපත වෙනුවෙන් මා සති දෙකක කාලය තනිව නිවසේ ගතකිරීමට සිත සකසා ගතිමි. මාගේ බිරිඳත් පියාණන් දෙපළත් මට අවශ්‍ය සියලු ⁣දෑ නිවසට ගෙනැවිත් තිබිණ.

සිත තරමක් සැහැල්ලුවෙන් දිවා ආහාරයෙන් පසුව නින්දට වැටුනේ එදින රාත්‍රියේ නිවසෙහි සිට ආයතනයේ වැඩ කිරීමට අවශ්‍ය වූ බැවිනි. මා නියමිත කාලයට කලින් ලංකාවට පැමිණි හෙයින් ඇමරිකානුවන් වැඩ කරන වේලාවට මම ලංකාවේ සිට වැඩ කිරීමට මමම තීරණය කළෙමි. මා එය ආයතනයට දන්වා තිබුණු නමුත් ආයතනයෙන් ඒ සඳහා බල කිරීමක් නොවීය.

සවස 6.30 සිට පසුදින පාන්දර 2.30 පමණ වනතුරු රාජකාරියෙහි නියුක්ත වූවෙමි.

දෙවන දිනය – අමිහිරි සිදුවීම් වල ආරම්භය

උදා ආහාරයත් දිවා ආහාරයත් මගේ බිරිඳ මා හට උදෑසනම ගෙනවිත් දුන්නාය. ඇගේ දෙමාපියන්ගේ නිවස පිහිටියේ අප නිවසේ සිය කි.මී. 3ක පමණ ඈතිනි.

උදා ආහාරයෙන් පසු මා විවේක ගතිමි. නමුත් මට දැනගන්නට ලැබුනේ සිහිනයකින්වත් නොසිතූ දෙයකි. ගම්මුන් මා විදෙස් ගතව සිට පැමිණ මගේ නිවසේ “සැඟව සිටින්නේ යැයි” පොලිසියට දැන්වීමට යන බවය. කිසිවෙකු මට ස්වයං නිරෝධායනයකට ලක් විය යුතු බවට පෞද්ගලිකව කියා නැත. ඔලුවක් ඇත්තෙකුට එය අමුතුවෙන් කියා දිය යුත්තේද නොවේ. මාධ්‍ය හරහා ඇති තරම් මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු විය. PHI මහතා හා ග්‍රාම සේවක මහතාද නිසි ලෙස මා දැනුවත් කර තිබූ බව ගම්මුන් නොදැන සිටින්නට ඇත. මා පැවතුණු නීති ප්‍රකාරව නිසි ලෙස කටයුතු කර සිටි බව මා දනිමි.

මා හට ඇති වූයේ දරා ගත නොහැකි වේදනාවකි. පිටින් “අනේ මල්ලියේ” යැයි කට පුරා සිනා සී මාත් සමඟ කතා කරනවුන්ගේ සැබෑ තත්ත්වය දැන් හෙලි වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ අවශ්‍ය නම් වැට අසලට විත් මා සමඟ තතු කතා කළ හැකිව තිබිණි. එසේ කිරීමට බිය නම් (කොරෝනා පිළිබඳ ගැටළු නිසා) මා හට දුරකතන ඇමතුමක් දී කෙලින් කතා කිරීමට තිබුණි.

මා දැනගත් අයුරින් ඔවුන්ට ගැටළුව වූයේ තවත් නිවාස දෙකක් තිබියදී “ඔවුන්ගේ” ගමට මා පැමිණියේ මන්ද යන්නයි. මීරිගම නගරයේ ඇති මාගේ නිවසේ මාගේ දෙමාපියෝ වාසය කරති. ඔවුන් දෙදෙනාම අවු. 60ට වඩා වැඩි මහලු අය වන අතර මා එහි ගොස් අවාසනාවකට මා හට වෛරසය වැළඳී තිබ්බා නම් මටත් වඩා බලපෑම වන්නේ ඔවුන්ටයි. මගේ බිරිඳගේ නිවසේ ඇගේ දෙමාපියන් මෙන්ම මගේ 11මසක වයසැති දියණිය ද වෙයි. තනිව විසිය හැකි මගේම නිවසක් තිබියදී ඔවුන්ව අවදානමක දැමීමට මට අවශ්‍ය වූයේ නැත.

අනෙක මා පැමිණියේ මුඩුක්කු පේළියකට හෝ එකට බැඳි ගෙවල් රැසක වූ නිවසකට නොවේ. අඩු තරමේ ගමේ කිසිවෙකුගෙන් කුලියටගත් නිවසකටවත් නොවේ. මගේත් බිරිඳගේත් උත්සාහයෙන් තනාගත් අපේම නිවසටයි. පර්චස් 40කට ආසන්න ඉඩමක මධ්‍යයේ ඇති මගේ නිවසේ මා විසීම කාටවත් ගැටළුවක් නොවිය යුතුය.

කැලණියවත්තට මා පැමිණ වසර 3කි. මීරිගමට මා පැමිණ වසර 32කි. මා උපතේ සිට හැදුනේ වැඩුනේ වරිපනම් බදු ගෙවන මීරිගම නගර සීමාවේ පිහිටි මාගේ දෙමව්පියන්ගේ නිවසේයි. මා මීරිගමට පිටගම්කාරයෙක් නොවන බව නොදන්නවුන් දැන ගත යුතුය.

මේ ගැටළුවේදී කොන්ද කෙලින් තබා ගෙන හරි වැරැද්ද තේරුම් අරන් කටයුතු කර තිබ්බේ මා දැනුවත්ව එක පවුලක් පමණකි. මා ඔවුන්ට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. මා තනිව සිටියදී මාගේ කෑම බීම ගැනද ඔවුන් වද විය. කෙසේ වෙතත් මගේ බිරිඳත් මගේ පියාත් අවශ්‍ය දෑ සැපයූ හෙයින් වෙනත් අවශ්‍යතාවක් වූයේ නැත.

කර්ෆිව් පාස්

මා පැමිණියේ 18 වන දිනයි. 20 වන දින පමණ ඇඳිරි නීතිය පණවන ලදි. මගේ නිවසට මගේ පියාට හා බිරිඳට පැමිණීමට පොලිසියට දැනුම් දී අවසර ගැනීමට සිදු විය. එය ගැටළුවක් වූයේ නැත. එනමුදු තවත් දවස් කිහිපයකින් ඇඳිරි නීති බලපත් ග්‍රාමසේවක නිලධාරියා හරහා ලබා ගත යුතු බව දැනුම් දී තිබුනේ විවිධ පුද්ගලයන් අවසරපත් අවභාවිතා කිරීම හේතුවෙනි. මෙහිදී මීරිගම ග්‍රාමසේවක මහතාත් හකුරුකුඹුර ග්‍රාමසේවක මහතාත් පැසසිය යුතු සේවයක් ඉටු කළයුතු බව කිව යුතුමය. මගේ බිරිඳ වෙසෙන මාලදෙණිය ප්‍රදේශයෙන් අවසරපතක් ලබා ගැනීම එතරම් පහසු වූයේ නැත.

නැවතත් 119

කලින් සිදුවීමේදී පොලිසිය නිසි ලෙස දැනුවත් කර තිබූ නිසා ඔවුන්ට මගේ නිවසට පැමිණීමට අවශ්‍යතාවයක් නොවීය. දින කිහිපයක් ගත විය. දැඩිව තිබූ සිත් වේදනාව ක්‍රමයෙන් පහව යමින් තිබිණි. සුපුරුදු ලෙස රාත්‍රී කාලයේ රාජකාරියෙහි නිරත වීමි.

එක් දිනක සවස 7ට පමණ වසන ලද ගේට්ටුවට තඩිබාන සද්දයක් ඇසී මම එළියට ගියෙමි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රියක පැමිණ ඇත.

විදෙස් ගතව සිට පැමිණි අයෙක් මේ නිවාසයේ සිටීදැයි මගෙන් විමසන ලදී. ඒ මා බවත් මා පොලිසිය ඇතුළුව සියල්ලන් දැනුවත් කර ඇති බවත් දැන්වූයෙමි. මගේ දුරකතන අංකයත් විදෙස් ගමන් බලපත්‍ර අංකයත් එක් නිලධාරියෙක් සටහන් කරගත්තේය. පසුව ඔවුන් අතරින් ජ්‍යේෂ්ඨ නිලධාරියා “සොරි මල්ලි, ගමේ මිනිස්සු කෝල් කරනවනෙ. කාල බීල ගෙදරට වෙලා ඉන්න” කියා යන්නට ගියේය.

ගම්මුන් නැවතත් 119 අමතා ඇත. පොලිසියෙන් පැමිණ මාව කුදලන් යනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත.

තෙවන සිදුවීම

කාලය කෙමෙන් කෙමෙන් ගතවිය. දිනපතා මම ශරරීර උෂ්ණත්වය මැන බැලීමි. සෑම දෙදිනකටම වතාවක් PHI මහතා ඇමතීමි.

දිනක් උදෑසන නොදන්නා අංකයකින් දුරකතන ඇමතුමකි. එහෙත් TrueCaller ඇප් එ⁣ක මගින් අමතන්නාගේ නම පෙන්වූ බැව් අමතන්නා නොසිතන්නට ඇත. මා හොඳින් දන්නා මාවද හොඳින් දන්⁣නා මා ගෞරවයෙන් සලකන අයෙකුගෙනි ඒ ඇමතුම. ⁣එනමුත් සුපුරුදු අංකයෙන් නොවේ.

මා ඇමතුම ගෙන කථා කළෙමි. අනෙක් පසින් කිසි⁣ඳු හඬක් නොනැඟේ. ටික වේලාවකින් මම ඇමතුම විසන්ධි කළෙමි.

පෙරදින රාත්‍රියේ ආරම්භ කළ රාජකාරි අවසන් වන විට මෙදින උදෑසන 5.30විය. ඒ විශේෂ කටයුත්තක් යෙදීම නිසාවෙනි (production issue). ඒ කෙසේවෙතත් මෙදින උදේ 11ට මා කලින් පොරොන්දු වූ KT (Knowledge Transfer) එකක් කිරීමට ද තිබුණි. හරිහැටි නින්දක් නොලබා වුවත් එය කිරීමට මා සිතුවේ අප ආයතනයේ එය බලාපොරොත්තුවෙන් සිටි අන් අය රස්තියාදු නොකිරීමටයි.

මේ KT එකට පෙර කලින් සඳහන් කළ ඇමතුම ලැබුණු අතර KT එක අතරතුර ද නොදන්නා අංකයකින් ඇමතුමක් දිගින් දිගටම එන්නට විය. ඒ කලින් ඇමතූ කෙනාම වන්නට ඇතැයි සිතා මම දුරකතනය දෙසවත් නොබැලීමි. ඒත් දිගටම නාද වන නිසා මම එයට උත්තර දෙන්නට ගතිමි.

“මම මීරිගම පොලිසියෙන් කථා කරන්නෙ. මේ සුනිල් අමරසිංහ ද”

ඒ මගේ පියාගේ නමයි. ඒ බව දන්වා මම මගේ නමද පැවසීමි.

“එතකොට ඔයාල දෙන්නම ද ස්වයං නිරෝධායනය වෙන්නෙ”

මා එසේ නොවන වගත් පියා මීරිගම නගරයේ වූ නිවසේ වෙසෙන වගත් දැන්වූයෙමි.

“නෑ මේ නන්නාඳුනන කෝල් එකක් ඇවිත් තියෙනව ඇමරිකා⁣වේ ඉඳන් ඇවිත් හකුරුකුඹුරට වෙලා ඉඳපු කෙනෙක්ව හොස්පිටල් අරන් ගිහින් කියලා. ඒ ඔයාද”

මම ඒ මා නොවන වගත්, මා අ⁣ගේට මගේ නිවසේ සිටින බවත් දැන්වූයෙමි.

TrueCaller වෙතින් ඔහුගේ නමත් සොයාගත් මා ඒ සැබෑ පොලිස් නිලධාරියෙකු බව දැන ගතිමි. කෙසේ වෙතත් මේ එක ළඟ ආ දුරකථන ඇමතුම් දෙක පිළිබඳව සෑහෙන සැකයක් මෙන්ම ඒ දෙක අතර සම්බන්ධතාවක් ඇතැයි සිතීමි.

KT එක අවසන් වීමෙන් පසු මුල් අංකයට මම නැවත ඇමතීමි. එවිට එයට උත්තර දීමට අනෙක් පස පුද්ගලයා සමත් විය. කටහඬිනුත් ඒ කවුදැයි මා වඩාත් තහවුරු කර ගතිමි. මා ඒ බවක් නොහැඟවෙන ලෙස කතා කර කලින් ඇමතූයේ මන්දැයි විමසීමි. කලින් ඇමතුමක් නොගත් බව කිහිප විටක්ම කී පසු, “වැරදීමක් වෙන්න ඇති” යැයි මමම පවසා දුරකතනය විසන්ධි කළෙමි.

දැන් මා තවත් මේ ගැන සැක සිතීමට පෙළඹිණි. කෙසේ නමුදු මට නැවතත් දැනුණේ පුදුමාකාර දුකකි. එම පුද්ගලයා මාව හොඳින් දන්නා කෙනෙකි. මාගේ දුරකථන අංකයද ඒ පුද්ගලයා දනී. අවශ්‍යතාවක් තිබුණි නම් මා හට කෙලින් කතා කිරීමට හැකියාව තිබිණි.

⁣මාව මෙන්ම එම පුද්ගලයාද දන්නා තවත් අයෙක්ට මම මේ සිදුවීම් පවසා මගේ දැඩි සිත් තැවුල ගැනද පැවසීමි.

සවස් භාගයේ නැවතත් කලින් අංකයෙන්ම ඇමතුමක් ලැබුණි. මේ වතාවේත් නොදන්නා බවක් හැඟවූ බැවින් මම කෙලින්ම එම පුද්ගලයගේ නමින්ම ඇමතීමි. මගේ නම පැවසූ විට යළිත් නොදන්නා බවක් පෙන්වූ නිසා තවත් තොරතුරු කිහිපයකින් මම කවුදැයි දැනුවත් කළෙමි.

කලින්ම මට ඇමතුවේ නැති බව අනෙක් අන්තයෙන් පැවසෙයි. ඒ පුද්ගලයාගේ තත්ත්වය සලකා මා ඉතා සංයමයෙන් කිව යුත්ත කීවෙමි. කොතෙක් කීවත් එසේ ඇමතුමක් නොදුන් බවත් අවශ්‍ය වූයේ නම් මා හට කෙලින්ම අමතන බවත් ඒ පුද්ගලයා පැවසීය.

මේ ඇමතුම් අතර සම්බන්ධක් ඇති බව මට කොතෙකුත් සිතේ. තාක්ෂණය සමඟ සම්බන්ධව වැඩ කරන අයෙක් සමඟ මෙවන් අතේ මාට්ටු වන වැඩ නොකළ යුතු බැව් තේරුම් ගත යුතු යැයි සිතමි.

දවස් 14 අවසන්

දින 14ක් අවසානයේ නිරෝධායනය සම්පූර්ණ කළ බව සඳහන් සහතිකය ලබා ගැනීමට අවශ්‍ය නිසා PHI මහතා දන්වා සිටියේ MOH ඔෆිස් එක වෙත මා හට පැමිණෙන ලෙසයි. ඇඳිරි නීතිය නිසා නගරය මැද්දෙන් නොයා අතුරු පාරකින් MOH ඔෆිස් එකට මාත් මාගේ බිරිඳත් ගියෙමු. වාහනය ධාවනය කළේද මගේ බිරිඳයි.

එහිදී අප ඔහුට කියා සිටියේ මා මාගේ කුඩා දියණිය වෙත යා යුතු නිසා වැඩි ආරක්ෂාවට තවත් ටික කාලයක් මා නිවසේ තනිව රැඳී සිටින බවයි. මාලදෙණියේ ග්‍රාමසේවක මහතාගෙන් නිසි අවසර පතක් නොලැබුණු හෙයින් බිරිඳට මට කෑම ගෙන ඒම සඳහා අවසර පතක්ද PHI මහතාගෙන් ඉල්ලූවෙමු. එලෙස අවසරපතක් නිකුත් කිරීමට ඔවුන්ට නොහැකි බවත්, ඉතිරි දින කිහිපයෙන් පසුවම සහතිකය ලබා දෙනන්නම් කියාත් ඒ කාලයේදී කෑම ගෙන යන අතරතුර ගැටළුවක් ඇති වුවහොත් ඔහුව අමතන ලෙසත් දන්වන ලදි.

ආපසු ගමනේදි මම වාහනය ධාවනය කළෙමි. කලින් ආ මාර්ගය එතරම් හොඳ නැති නිසාත් අප වැරැද්දක් නොකරන නිසාත් නගරය හරහා ඒමට තීරණය කළෙමු. නගරයේ මාර්ගය බාධකයකි. එහි වූ පොලිස් කාන්තා නිලධාරියාට අපි සිද්ධිය පැහැදිලි කළෙමු. ඇය පිරිමි පොලිස් නිලධාරියාට අපව ⁣පෙන්වීය. ඔහුටද සිද්ධිය පැවසීමි. “ඔයා මොකටද MOH එකට යන්නෙ PHI ගෙදරට ඇවිත් ඒක දෙන්න ඕනිනෙ” යැයි සැරෙන් පැවසීය. මගෙන් සහතිකය ඉල්ලූ ඔහුට මට දීමට තිබුණේ විදෙස් ගමන් බලපත්‍රයත් ගුවන්තොටුපොලේ දී කොරෝනා ලක්ෂණ නැති බවට සඳහන් සෞඛ්‍ය නිලධාරියෙකුගේ අත්සන සහිත කොළයකුත්ය. නිරෝධායන සහතිකය අප ලබා ගත්තේ නැති බැව් ඔහුට තේරුම් ගොස් නැති සේය. ආපහු ඒ ලිපි අපට ලබා දුන් ඔහු “නිරෝධායනය වෙනව නම් ගෙදරට වෙලා ඉන්න එපැයි. යනව යනව ගෙදර යනව” යැයි සැරෙන් පැවසීය.

මා හට ගෙදර යා යුතු බැව් ඔහු පැවසිය යුතු නැත. මා කොහොමත් යන්නේ ගෙදර බැවිනි. උවමනාවටත් වඩා (ඒ වන විට නිරෝධායන කාලය දින 14ක් පමණකි. තව සතියක් ඉන්නට සිතු⁣වේ මා මාගේ කැමැත්තෙනි) කොරෝනා පිළිබඳ උපදෙස් පිළිපැද්ද මා හට මෙවන් වදන් දැඩි තරහක් ගෙන දුනි. මා වේගයෙන් රථය නිවස වෙත ධාවනය කළෙමි.

මිතුරෙකු සමඟ තර්ක

එංගලන්තයේ ලෝ පතල විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන ඔහු, එංගලන්තයේ කොරෝනා පාලනය ගැන ෆේස්බුක් සටහන් කීපයක් තබා තිබුණි. සමහරක අර්ථය වූයේ ලංකාව ගන්නා ලද ක්‍රියාමාර්ග වල අඩුපාඩු ඇති බවත් එංගලන්තයේ එසේ නොවන වගත්ය. ඔහු හා තර්ක කිරීම මට අලුත් දෙයක් නොවේ. මා ෆේස්බුක් චැට් එකේ ඔහු සමඟ මේ ගැන තර්ක කළෙමි. ඔහු පවසන්නේ එංගලන්තයේ විදියටම ලංකාවේ කළ යුතු බවකි. මා පැවසූයේ ඒ විධිය ඒ ආකාරයෙන්ම ලංකාවට නොගැළපෙන බවත් එවැනි යමක් කරනවා නම් එය ලංකාවට ගැළපෙන ලෙස කළ යුතු බවත්ය. එංගලන්තයේ ඇඳිරි නීතියක් හෝ ලොක් ඩවුන් කිරීමක් නැති බවත් අවශ්‍ය දෑ මිල දී ගැනීමටත් රැකියා සඳහා යාමටත් අවසර ඇති බැව් හේ පැවසීය. මගේ අදහස වූයේ එසේ කළහොත් ලංකාවේ මිනිසුන් එය අවභාවිතා කරන බවය.

කෙසේ වෙතත් තර්ක කිරීම නැවතිනි. පසු දා බලන විය හේ මා ෆේස්බුක් හි බ්ලොක් කර ඇත. ඔහු එවැනි සිඟිති පුද්ගලයෙකු ලෙස මා කිසි දා නොසිතීමි. මා ඔහුව දැක්කේ මනා දැනුමක් ඇති මහා පුරුෂයෙකු ලෙසයි. ඔහු මාව බ්ලොක් කිරීම ගැන මම ඇත්තටම දුක් වීමි.

ඔහු අන් අයගේ අදහස් වලටත් ඇහුම්කන් දෙන දිනක අප නැවත හමුවේ යැයි සිතමි.

Mirigama.info

ෆේස්බුක් හි විවිධ දෙනා එකම දේ ගැන විමසමින් තොරතුරු සොයනු දුටුවෙමි. ඒ වෙනුවෙන් මම mirigama.info වෙබ් අඩවිය තැනීමි. එහි මේ කාලය තුළ නිවසට භාණ්ඩ ගෙනැවිත් දෙන ෆාමසි, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන්නන් ඇතුළු සෑහෙන තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

දින 21 අවසන්

22වන දිනයේ MOH කාර්යාලයට ගොස් සහතිකය ලබා ගතිමි. පසුව මගේ නිවසෙහි වූ අත්‍යවශ්‍ය දෑත් රැගෙන බිරිඳ ගේ නිවසට පැමිණීමි.

මගේ කුඩා දියණිය එක විට මා හඳුනා ගත්තේ නැත. ඈ අන්ද මන්ද වී ඇති සෙයකි. ටික වේලාවකට පසු හිනැහෙන්නට ගත් ඈ සෑහෙන සතුටට පත් වූ බැව් අත්දැක්කෙමි.

පසුවදන

ගම්මුන් කලබල වන්නට ඇත්තේ තම දූ දරුවන් ගැන සිතා විය හැකිය. නමුත් ඔබ අතරින් ඕනෑ ම කෙනෙකුට අසනීපයක් ඇති වීමට හැකියාව ඇත. එවිට ඔබේ අසල්වැසියන් ඔබට සලකන්නේද ඔය අයුරින්ම බව අමතක නොකරන්න.

කෙසේ වෙතත් මේ පසුපස ඇත්තේ සෞඛ්‍යමය කාරණාවක් නොවන්නට ද ඉඩ ඇත. මා සෙමෙන් හිස ඔසවන්නට වෙර දරන පොඩි ම්නිසෙකි. මා ඔබ කිසි අයෙක්ට කරදර වන ලෙස හැසිරී නැත. හැකි සෑම විටම ඔබ සමහරුන්ට උදව් කර ඇත. කොටින්ම ඔබ නොදන්නවා වුවද විභාග කාල වල පාඩම් කරන දරුවන්ට කරදර වේ යැයි කොතෙකුත් ගෙවත්තේ තණකොල නොකපා සිට ද ඇත. අන්‍යන්ගේ දේට ඊර්ෂ්‍යා නොකර මොළය කල්පනා කර වැඩ කිරීම යෙහෙකි.

කොහේවත් යන බල්ලන් බිරූවද කඳු පාත් නොවන බැව් ද මතක තබා ගන්න.

මෙය ලියන මාත් කියවන ඔබත් මේ වසංගතයෙන් ගැලවේ දැයි අපි නොදනිමු. මේ වසංගතය දුරලීමට දිවි දෙවැනි කොට රාජකාරි කරන සියල්ලන්ටම ප්‍රණාමය පුද කරනවා සේම ඔවුන්ගේ රාජකාරි වලට හැකි පමණින් අපි උදව් වෙමු. ඔවුන්ට කළ හැකි ලොකුම උපකාරය අප සැලකිලිමත් වී ආරක්ෂිතව සිටීමයි.

සැම සුවපත් වේවා.

සංජය අමරසිංහ

MSc. (Adv. SE) (Uni. Of Westminster, UK)

BSc. (Computer Science. First Class Honours) (Colombo)

Featured image source: https://www.chemistry.nat.fau.eu/2020/03/18/implications-of-corona-virus-for-students-and-staff-of-fau/


11 Comments

Gayan Kanishka · April 19, 2020 at 7:46 pm

පුදුම මිනිස්සු බං. කොහොමත් 90%ක්ම ඉන්නේ ඉරිසියා කාරයෝ. කරදරයක් උනාම තමයි මිනිස්සු හරියටම අදුරගන්න පුලුවන්.

    මෙත්තානන්ද · April 24, 2020 at 10:28 pm

    මල්ලි ඇත්තටම මම අයි දැනගතේ ඔබ මුහුණ පෑ අනපේක්ෂිත සිද්ධි දාමය පිළිබඳව.මොනව වුණත් කතාව ලස්සනට ලියලා.සංෝශයි සිංහල භාෂාව මැනවින් භාවිතා කිරීම පිළිබඳව.
    මම දැන් ටික වෙලාවකට ඉස්සරලා තමයි ඔයාට ඉන්වයිට් කලේ . ඔයාගෙ ඇක්සෙප්ට් කරපු වෙලාවේ ම තමයි මීරිගම තොරතුරු සයිට් එක දැක්කෙ ඒ ෂෙයාර් කලායින් පස්සෙ දැක්කෙ මේ බ්ලොග් එක.
    මේක මම ෂෙයාර් කරන්නද.

      Sanjaya · April 24, 2020 at 10:39 pm

      බොහොම ස්තුතියි.
      හා ෂෙයා කරන්න 🙂

සමීර විජයරත්න · April 19, 2020 at 8:02 pm

අපේ මිනිස්සු හිතන විදිය හරි අමුතුයි, කුහකයි. තව මනුස්සයෙක් දියුනු වෙනවා දැක්කොත් ඉවසන්න බෑ ඒකයි අයියා ලොකුම හේතුව.

Prabhath Darshana · April 19, 2020 at 8:06 pm

Loka sobawe wenas karanta ba ne aiya!! Owa gena wediya hithantepa 🙂
Lankawe jeewathwenakota manda manasika minissu ekka jeewath wena hatiyak balanta wenawane! 🙂

Good to see you! Hope everything okay! 🙂

Tharanga Leelarathna · April 19, 2020 at 8:23 pm

ලංකාවෙ බොහො දෙනෙක් සරලව කිවොත් මෝඩයි.. යම් කාරනයක් තාර්කිකව සිතනන් හැකියාවක් නැ.. අනික ගොඩක් අය කැමති නැගිටින එකාට පොඩි පාරක් ගහල රිදෙනවද බලල ආතල් එකක් ගන්න.. මේවා ගනන ගන්න එපා..
සරලව කිවොත්
‘ඵල ඇති රැකට තමා ගල් ගහන්නෙ.. වවුලො එන්නෙත්” කියල තියෙනවානෙ..

Yohan Kanishka · April 19, 2020 at 8:57 pm

ඔයා ජොලියෙ ගෙදරට වෙලා ඉඳල නේද. දන්නෙවත් නෑ එහෙම සීන් එකක්.

පරණ යාළුවා · April 19, 2020 at 11:16 pm

තරහවුනු යාළුවා ගැන මතක් කරාට කෑවද බිව්ද හොයපු පරණ යාළුවෝ ගැන මතක්රලා නෑනේ.. මෙහෙම අමතක කරනවා කියලා දන්වානම් අම්පා ගහනවා 119..

ලක්ෂිත චින්තන · April 19, 2020 at 11:34 pm

ඉස්සෙල්ලම කියන්න ඕනි බං බොහොම ස්තුතියි ආයේ Blog කියවන්න කික් එකක් ඇතිකලාට ,
ගමේ ජීවත් වෙන මිනිස්සු ඔහොම තමා මචෝ , ඕව හිතන්න ගියොත් හැමදාම හිතේ අමාරුවෙන් ඉන්න වෙන්නේ බං, ඔයිට වඩා බකට් අදින මිනිස්සු ගම්වල ඉන්නවා බං. එක නිසා ඕව අමතක කරලා දාල පොඩ්ඩක් chill එකේ හිටපන් මචෝ. අපේ ගෙවල් ගාවත් අක්ක කෙනෙක් මම හිතන්නේ ඔය කාලෙම වගේ ලංකාවට ආවා . ඒ අක්කත් උඹ වගේම බොහොම පරිසසම් උනා .උඹ වගේම පොලීසිය , පී.එච්. අයි . මහත්තයා , ග්‍රාමසේවක මහත්තයා එහෙම කියලා දවස් 14 ගෙදරට වෙලා පාඩුවේ හිටියා , ඊට පස්සේ ඔන්න ගම පුරාම කතාව ගිය මෙහෙම් කෙනෙක් රට ඉඳන් ආවා දැන් කොරෝනද කොහෙද ගෙදර හිරකරලා ඉන්නේ කියලා . ඒ අක්කලාගේ ගෙදරට කන්න බොන්න වත් ගෙනත් තිබ්බේ නැහැ . අන්තිමට මේ වෙනකොට එයාලව ගමේ කොන් කරලා වගේ ඉන්නේ . ගම්මු ඔහොමයි බං .දෙයක් කියද්දී කරද්දී වැඩිය කල්පනා කරන්නේ නැහැ බං. දැන් දවස් ගානක් තිබ්බේ අපේ ගෙදර අයයි තව පවුල් දෙකක් වගේ තමා එයාලා ගැන තියල බලන්නේ .ඔන්න ඕකයි අපේ ගමේ තත්ත්වෙත් …උඹට අව්ලක් නැත්නම් එච්චරයි …පවුලටම බුදු සරණයි මචෝ…හම්බෙමුකෝ වෙලාවක ….

Unknown Mith · April 20, 2020 at 2:00 am

Oh, we should thank those people. Without them, this blog will not be there. Keep in mind evolution is driven by predators. Except it happens very rarely in Sri Lanka.

Wijith · April 20, 2020 at 12:22 pm

ලංකාවෙ මිනිස්සු ඔහොම තමයි. වටින ලිපියක්. ඔයා meerigama.info කියල හදපු වෙබ් එකනම් මේ වෙලාවට ගොඩක් වටිනව. 👍

Leave a Reply to Unknown Mith Cancel reply

Your email address will not be published. Required fields are marked *