ම‍ට උනු සිද්ධි

Gift_Voucher

Gift Voucher!

2

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න.

මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න.

 

මමයි තරංග අයියයි ලඟදි දවසක ගියා Cargills එකට බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන දේවල් ගැන බලන අතරේ තරංග අයියා මගෙන් ඇහුවා “මේගොල්ලෝ ගාවත් ගිෆ්ට් වවුචර් ඇති නේද” කියලා.

පස්සේ ලඟ පාත වෙන කවුරුවත් වෙන අහන්න කෙනෙක් නැති නිසා එතන හිටපු සෙකියුරිටි ලේඩි කෙනෙක්ගෙන් තරංග අයියා ඇහුවා “ඕගොල්ලො ගාව ගිෆ්ට් වවුචර් තියෙනව ද? ” කියලා.

මේ ගෑණු එක්කෙනා අපි හිටපු තැන තිබ්බ රාක්ක වලට අත දික් කරලා කියනව, “තියෙනවානම් මේ හරියේ තමා තියෙන්නේ සර් බලන්නකෝ ”

තරංග අයියත් “හා හා..” කියල අහක බලාගත්තේ කටට ආපු හිනාව අමාරුවෙන් නවත්තගෙන.

මෙයා ඉතින් කාර්ගිල්ස් එකට පිටින් ගත්තු සෙකියුරිටි ලේඩි කෙනෙක් වෙන්න ඇතිනේ.. මොනව කරන්න ද? එයාගේ වරදක් නෙමේ :P

What

පහුගිය ටිකේ මොකද උනේ?

6

මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක නොවීම ගැනත්..

මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්‍න ‍හැකියාවක් ලැබුනෙ. ලිපි එකතු කරන්න බැරි‍ වෙන්න ප්‍රධාන හේතුව විභාග. ඒ එක්කම ලේසි පහසු නැති පැවරුම් (assignments). අපේ සහෝදර ‍සිසු සිසුවියන්ගෙ බ්ලොග් සමහරකත් තත්ත්වය මේකම තමා.

විභාග ඉවර උනයි කියලා හිතට නිදහසතක් ලැබුනේ නැහැ. අපේ CSRU (CompSoc Research Unit) එකෙන් අත ගහපු අලුත් වැඩකටත් සෑහෙන්න වැඩ කරන්න උනා. ඒ ගැන විස්තර පස්සේ වෙලාවක කියන්නම්.

මේ අඩවිය ඇතුලු අඩවි කීපයකටම පොඩි ඇබැද්දියකට මූන දෙන්න උනා පහුගිය ටිකේ. දැන් ඒ ගැටළුවෙන් ටිකක් මිදිලා ඔන්න. කොහොම්න් කොහොම හරි අද සෑ‍හෙන කාලෙකට පස්සෙ අඩවිය දැක්කම පුදුම සතුටක් ඇති උනේ, මොකද පහුගිය දවසක සයිට් එකත් නෑ හරිහමන් බැකප් එකකුත් නෑ වගේ ගැටළුවකට මූන පාන්නත් උනු නිසා.

මේ අතරේ අපේ ප්‍රථම වසර ඉවර උනු එකත් ටිකක් හිතට දැනෙන කාරණයක්. අලුත් නංගිලා මල්ලිලා පිරිසක් ආවත් එක්කම අපිත් ‍ජ්‍යේෂ්ඨයන් පිරිසක් බවට පත් උනා. වෙනදා අක‍්කේ අයියේ කියලා විතරයිනෙ කටේ තිබුනෙ. නංගි මල්ලි කියන එක කටට නුහුරුයිද මන්දා. කොහොම නමුත් ඔවුන් ආපු 28 වෙනිදා. පහුගිය අවුරුද්දෙ අපිත් එහෙම ආපු හැටි අගේට හිතේ මැවුනා.

ලියන්න ගොඩක් දේ හිතේ තියනවා. ටික ටික ලියන්නම්. ඒ වගේම කියවන ඔබ දැනගන්න රුචියෙන් ඉන්න දේ තියනවනම් සඳහනක් දාල යන්න. මම හරි කැමතියි දැනුම කා එක්ක හරි බෙදා ගන්න.

විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මතක ඇතිනේ මම දවසක් පොඩි සර්වේ එකක් ගැන සඳහන් කළා. ඒක එච්චරම සාර්ථක උනේ නැහැ. කෙසේ වෙතත් ඒ‍කේ ප්‍රථිඵල කීප දෙනෙක් ඉල්ලලා තිබ්බනේ. කැමති කෙනෙකුට ලබාගන්න පුළුවන් මෙතනින්. මම සමාව ඉල්ලනවා මෙච්චර කාලයක් ප්‍රමාද වීම ගැන.

දුම්රියේ ගමනාගමනය හා මනුස්සකම Traveling by Train and Humanity

18

මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්.

ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම ගිහින් තියෙන දුම්රියක් නිසා උදේ පොඩි මැණිකේ දුම්රියේ තමා යන්න ‍කථා උනේ.

එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එනකොට සෙනඟ වෙනදට වඩා ඉන්න බව තේරුනා. දුම්රිය නවත්තනකොට තමා ඇඟ හිරිවැටුනේ. දුම්රිය ඇතුලෙත් සෙනඟ පිරිලා. ඇතුලට රිංගන්න බැහැ. මොනා කරන්නද. පාපුවරුවෙත් ඉඩක් හොයාගත්තෙ අමාරුවෙන්. දැන් තමා හොඳම සිද්ධිය.

මම බෑගයක් එල්ලන් හිටියා. පාපුවරුවෙ යන්න පුළුවනෑ ඒකත් එල්ලන්. ඉතින් ජනේලෙකින් ඇතුලෙ කෙනෙක්ට කීවා බෑග් එක තියා ගන්න කියලා. මේ මනුස්සයෝ කීවනෙ බැහැයි කියලා. මට මාර තරහක් ආවෙ එවෙලෙ.

මේකද මනුස්සකම? අපිට නම් කොහොමටවත් ඔහොම ඉල්ලීමකදි බෑ කියන්න හිතෙනවද? අපි ඉඳගෙන ඉන්න වෙලාවක නම් පුළුවන්නම් හිටගෙන ඉන්න කෙනෙක්ගෙ බෑග් එකක් ඉල්ල ගන්නවා මිස ඉල්ලීමක් කළාමත් බෑ කියන්න කොහෙත්ම හිතෙන්නෙ නැහැ. බලන්න ලංකාවෙම තවත් පිරිසකගෙ සිතුම් පැතුම් වල වෙනස. තමන් ගැන පමණක්ම සිතන ආත්මාර්ථය ඉහේ තියන් ඉන්න උන් ටිකක්.

යන්තම් කොහොම හරි පාපුවරුවෙ හිටිය තව කෙනෙක් මගේ බෑගය බලෙන්ම ඇතුලේ කෙනෙක්ට දුන්නා. දුර ගමන් යන දුම්රියක වින්දනය සඳහා පාපුවරුවේ ගමන් නොකරන බව තේරුම් ගන්න බැරි ඇයි?

සෑහෙන දුරක් ගියායින් පස්සෙ පොඩ්ඩක් පාපුවරුවෙන් ඇතුල් උනා. එතන අත දරුවෙක් වඩාගත් පිරිමි කෙනෙක් හිටගෙන ඉන්නවා. ඒ  අය කියනවා “කොළඹින් නැගලත් ඇතුලට යන්න ඉඩක් නැහැ. බෑග් එක දාගන්න ඉඩක් නෑ” කියලා. දරුවෙක් වඩාගෙන ඉන්න කෙනෙක් දුම්රියක හිටගෙන යාම විරල දසුනක්.

යන්න ඉඩ නැතිම තැන බිම තිබුණු බෑග් උඩ නැගගෙන තමා පේරාදෙණියට යනකම් ගියෙ.

අපි එන්න එනකොට මහනුවර දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර ගන්න අහනකොට “ටිකට් දෙන්නම් හැබැයි කොච්චියෙ සෙනඟ, ආයෙ රිටර්න් කරන්න බෑ” කීවා. එච්චරටම සෙනඟ නම් ඇයි අඩුවශයෙන් පොල්ගහවෙලට එනකම්වත් තව දුම්රියක් දාන්න බැරි?

මොනා උනත් තේරුම්ගන්න තියෙන්නෙ උත්සව කාලෙට දුම්රියේ දුර ගමන් ‍යෑම අවම කරන්න ඕනි කියන එක.

ඒක එහෙමයි කියමුකෝ. අද (19) විශ්ව විද්‍යාලයයට එන්නයි කියලා වෙනද වගේම මීරිගමින් 5.58 දුම්රියට නැග්ගා. ඔන්න වේයන්ගොඩදි ඒකෙ කාර්මික දෝශයක්. මේක ඩබල් සෙට් එකක්. තේරෙනවනෙ සෑහෙන පිරිසක් හිටපු බව. ඉතින් ඔන්න මේ දුම්රිය යන්නෙ නැති නිසා ඊලඟට ආපු දුම්රිය‍ට නැග්ගා. දැන් දුම්රිය දෙකේම සෙනඟ එකක. ඊගාවට ඒක නැවැත්තුවා ගම්පහ , ගණේමුල්ලෙ සහ රාගම. රාගමදි ඔන්න මේක අද්දන්නෙත් නෑ.

සමහර විට සෙනඟ හොඳටම වැඩි නිසා වෙන්නැති. ඉතින් මිනිස්සුන්ටත් හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවනෙ. කට්ටියක් ගිහින් ගාඩ් මහත්තයට හොඳහැටි කථා කළා. ඔන්න ඉතින් ඒකෙනුත් හොඳ ප්‍රතිඵලයක් “පළමු වන වේදිකාවේ නවතා ඇති දුම්රිය කාර්මික දෝශයක් නිසා ප්‍රමාදවී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සලකන්න” ඒ කාර්මික දෝශය ඇති උනේ කොහොමද කියල තේරෙනවනේ? කරුණාවෙන් තමා සලකන්න ඕන.

ඔන්න තව පවර්සෙට් එකක් ආවා. ඉතින් ගොඩක් අය ඒකට රිංගන්න හදනවා. අන්තිමට ඒක යන්නෙත් නෑ.

පස්සෙ ආපු පවර්සෙට් එකට මිනිස්සු නගින්න හදන හැටි

පස්සෙ ආපු පවර්සෙට් එකට මිනිස්සු නගින්න හදන හැටි

පින්තූරෙන් තේරුම්ගන්නකෝ කොච්චර සෙනඟක් හිටියද කියලා.

රාගම දුම්රිය ස්ථානයේ සෙනඟ

රාගම දුම්රිය ස්ථානයේ සෙනඟ

කොහොම හරි මේ දුම්රිය 2ම තියෙද්දි වෙන දුම්රිය 2ක් ආව යන්තම්. ඒ 2න් දෙවෙනි එකේ යන්තම් ගියා.

මරදානෙ ටිකට් එකතු කරන කෙනෙක් තව කෙනෙක්ට කියනවා ඇහුනා “අර මිනිහා මට හරකා කියලා බැන්නා” කියලා.

දාඩිය පෙරාගෙන කැම්පස් එකට යනකොට 9යි වෙලාව. (වෙනදට 7.50) අනේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දේ පළමු දේශනයත් මට නැති කළා.

Toshiba Satellite A505-S6960

ලංකාවෙ HP වගකීම මෙහෙමයි | HP warranty in Sri Lanka

16

කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක් වෙනකොට කම්මැලි හි‍තෙනවා පටන් ගන්න.

හරි මම කීවානෙ “ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා” කියලා ඒක තමා මේ කියන්න යන්නෙ.

ලැප අරන් ටික දවසකින් පොඩි ගැටලුවක් මතු උනා. මේකෙ තියෙන‍වා ටච් බට්න් වගයක් සද්දෙ අඩු වැඩි කරන්න, මීඩියා ප්ලේයරය පාලනය කරන්න ‍එහෙම. අරන් ටික දවසකින් සද්දෙ එකපාරට වැ‍ඩි වෙන්න උනා වෙලාවක. මාර කේස් එක දැන් මොකෝ කරන්නෙ. ටච් බට්න් තියෙන හරිය පිහල එහෙමත් බැලුවා. ගෙනාපු දවස් වලම වින්ඩෝස් 7 දැම්මා ඒක එක්ක ආපු විස්ටා මට හරියන්නැති නිසා. මේ ගැටඵවට මෙහෙයුම් පද්ධතියෙනුත් බලපෑමක් නැහැ උබුන්ටු වලදිත් ‍මෙ‍හෙමම උනා.

HP DV6-1030US - මෙන්න ඒ ලැප

HP DV6-1030US - මෙන්න ඒ ලැප

ගැටළුව ගැන තවත් කියනවානම් මේ ප්‍රරශ්නෙ එන්නෙ ටිකක් රත් උනාම. අපරාදෙ කියන්න බෑ රත් වෙන එක නම් හොඳට වෙන‍ව‍ කීබෝඩ් එකට අතවත් තියන්න බැරි වෙන තරමට. ඉතින් ඔන්න එක පාරට සද්දෙ වැඩිවෙන්න ගන්නවා, ‍ස්ක්‍රීන් එකේ වැටෙවා ටච් බට්න් වලින් සද්දෙ වැඩි කරනකොට එන‍ව වගේ එකක්. සද්දෙ විතරක් නම් බැරියැ Wi-Fiත් එහෙමයි. හිටි ගමන් කනෙක්ට් වෙන‍වා ආයේ ඩිස්කනෙක්ට් වෙන‍‍වා. blue screen එනවත් එක්ක. (ඒක නම් windows 7 beta version නිසා කියල හිතමුකෝ).

Blue Screen

Blue Screen

ඩ්‍රයිවර්ස් මාරු කලා, ඔහොම කරන්න පුළුවන් හැම ‍ප්‍රතිකර්මයක්ම කරලා බැලුවා.

අන්තිමට අරගෙන ගියා ගත්තු තැනට. ඒකෙදි මම ලැප දිග ඇරියාම කිසි අවුලක් නැහැ අගේට වැ‍ඩ. මම පැහැදිලිව කීවා OS එකේ බලපෑමක් නැහැ කියලා. ඉතින් ඔන්න බලලා ‍දවස් 2කින් ද කොහෙද දෙන්නම් කියලා ගත්තා.

‍ආයෙ ගිහින් බලනකොට ම‍ගේ ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ‍ෆොර්මැට් කරලා විස්ටා දාලා. ගියාම කියනවා “ආ ඔයා නේද සර් අර 7 දාල blue screen එනවයි කියලා ලැපක් දීලා තිබ්බෙ” කියලා. ඔන්න ඉතින් එතන බලනකොට අගේට වැඩ. මාත් හරි සතුටින් අරන් ගියා ගෙදර.

ඔන්න රෑ ආයෙ ගැටළුව එනවා. මට මල ඉතින්. මොනා කරන්නද. එලකිරි එකේ කට්ටියගෙනුයි, අපේ සීනියර් සුපුන් අයියාගෙනුයි, තරංග අයියාගෙනුයි හැමෝගෙන්ම අහල ඔන්න තීරනය කලා ලැප ගෙනියන්න බොරැල්ලෙ දේවි බාලිකා එක ගාවා VCS එකට, HP සර්විස් ඒජන්ට් කෙනෙක්.

පසිඳුත් එක්ක ගියා ඔන්න. තැන හොයාගන්න අමාරු උනේ නැහැ. ගෙයක් තමා එයාල අරගෙන තියෙන්නෙ. A/C කරලත් නැති නිසා ලැප දිගඇරිය ගමන්ම ප්‍රශ්නෙ ආවා. මට සතුටුයි මොකද ප්‍රශ්නෙ පෙන්නන්න පුළුවන්නෙ. එයාල හරස් ප්‍රශ්න නැතිව බලලා ප්‍රශ්නෙ තේරුම් ගත්තා.

ඊගාවට ලැ‍පේ සීරියල් නම්බර් එක එයාලගෙ පරිගණ‍කෙට ඇතුලත් කරලා (ඉන්වොයිස් එකවත් ඉල්ලුවෙ නෑ කලින්) කියනවා “ආ සර් මේකට වොරන්ටි තියෙනවා” කියලා. ආයෙ ටිකකින් කියනවා, “මේකෙ පාර්ට් එක ඉම්පෝට් කරලා ආපුවහම තමා දාන්න වෙන්නෙ. ඒත් සර් මේක US product එකක්. අපිට එන්නෙ Asia Region එකේ ඒවල පාර්ට්ස් විතරයි. HP එකෙන් රිජෙක්ට් උනොත් කරන්න දෙයක් නෑ”

මට හොඳටම තරහ ගියා එවෙලෙ. “ඒක හරි කථාවක්නෙ රු xxxxxxක් HP එකට දීලා මේක පිස්සු නටන හැටි ගෙදරට වෙලා බලන් ඉන්න ඕනෙද මම? අරගෙන දවස් 20ක් නෑ ” කියලා මම කීවා.

“හරි සර් අපි කොහොමහරි කරලා දෙන්න බලන්නම්. අපි නුදුන්නත් ගත්තු තැනින් ‍වොරන්ටි ‍දෙන්න ඕනෙ”කීවා.

මම එවෙලෙම ලැප ගත්තු කඩේට කෝල් එකක් දීලා ටිකක් තදින් කථා කලා. එයාලත් VCS එකේ හි‍ටපු කෙනෙක්ටත් කථා කරල එහෙම වැඩේ කොහොම හරි කරල දෙන්නම් කීවා.

දවස් 2කට පස්සෙ ඕන් එයාල කෝල් කරන්නම් කීවට කථා කලෙත් නැති නිසා මමම කථා කලාම කීවා “ඇතුලෙ ‍ශෝර්ට් එකක් තිබිල තියෙන්නෙ. ඒක හදල තියෙන්නෙ” කියලා. ඔන්න ඉතින් ගිහින් බැලුවාම වැඩේ හරි. ගෙදර ගෙනාවාම ආයෙ එනවා මෙන්න. මට මාර තරහයි දැන්. ප්‍රශ්නෙ එන හැටි වී‍ඩියෝ එහෙම කරගෙන ආයෙ පස්සෙ දවසෙ අරන් ගියා කඩේට. එදත් වෙනද වගේම එකෙක් කට ගහගෙන ආව එක එක ඒවා කියාගෙන. ‍මාත් ඉතින් හොඳට කථා කලා වෙන ද ව‍ගේ නැතිව :) . මොකද ‍මේක දැන් හොඳින් ‍බේරගන්න පුළුවන් එකක් නොවන බව තේරුණු නිසා.

“මොකටද මේක VCS ගෙනිච්චෙ. අපි හරහා නොගියම ඒගොල්ලො ගණන් ගන්නෑ” කියල බොරුවක් ඇද බෑව එකෙක්.

ඉතින් ඔන්න ආයෙ කවදද මන්දා දෙන්නම් කියලා කීවා. ඉතින් දවසක් මම කෝල් කලාම රිසෙප්ෂනිස්ට් කෙල්ල කීවා “සර් ඒක ‍රෙඩි වෙලා තියෙන්නෙ, ඇවිත් අරන් යන්න” කියලා. මම ආයෙත් පසිඳුවවත් අඬගහ‍ගෙන කඩේට ගියා. ඔන්න දැන් මෙයාල කරුකුරු ගානව. මට හොඳටම තේරුනා මේක ‍DMS ගෙනිහින් නැති විත්තිය.

දැන් ඔන්න කියනව තව ඒක බලන්න ඕන අරක මේක කියලා. මොන එ‍හෙකටද එහෙනම් එන්න කීවෙ?මේ අතරෙම ගාල්ලෙ ඉඳන් ආපු කෙනෙක්ටත් ‍මේ ව‍ගේම වැඩක් වෙලා. මෑනුත් පලු යන්න බයින‍වා. මාත් ඉතින් ඒකටම අල්ලල බැන්නා.

මගෙන් ඇහුවා මම කොහෙද කියලා. මම කීව ඉතින් මීරිගම කියලා හරියට මේකටම ‍කොලඹ ආව ව‍ගේ. (කැම්පස් එකේ ඉඳන් රු.6යි කියන්න ඕ‍න නෑනෙ).

ඔන්න එදා හිස් අතින්ම ගෙදර ආවා. පස්සෙ ලැප ‍DMS යවලා ෆොර්මැට් කරලා විස්ටා එහෙම දාලා අගේට තියනව. වෙන කියන්න මුකුත් නැති නිසා ඒක අරගෙන ආව. ආයෙ ඉතින් ප්‍රශ්නෙ එහෙමමයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

Windows has recovered from an unexpected shutdown

Windows has recovered from an unexpected shutdown

ආයෙ ගෙනිහින් මම මදින්ම කීවා “එක්කො මට වෙන ලැපක් දෙන්න. නැත්නම් සල්ලි ආපහු දෙන්න ” කියලා. වෙන එකක් දෙන්න බැරි හේතුවට කියන්නෙ දැන් ඒ ‍මොඩ්ල් එක එන් නෑලු. එතන වැදගත් යැයි පේන කෙනෙක් ලැපක් ගන්න ඇවිත්. මම කෑගහනව මෑනුත් පොඩ්ඩක් බැලුවා. ‍ටක් ගාල ඒකෙ කෙනෙක් “හරි සර් අපි මේක හදනකම් බැකප් එකක් දෙන්නම් කියලා AMD processor එකක් තියෙන පට්ට ගහපු Toshiba ලැපක් දුන්නා. ඒකට මොන‍වා හරි උනොත් ඒකටත් මම වගකියන්න ඕනිනෙ කියල ගන්න අදිමදි කලා. කොහොම හරි ඉතින් ඒක අරන් ඇවිත් උබුන්ටු එ‍හෙමත් දාලා පාවිච්චි කලා.

ගිය අවුරුද්දෙ ‍දෙසැම්බර් 4,5 ටෙක්නොමැක්ස් ප්‍රදර්ශනේ. ඉතින් මම කලින්ම ඔය ‍කඩේ මෑන් කෙනෙක්ට කියලා තිබ්බා මට එදාට කලින් ඕනෙ කියලා. මෑන් පොරොන්දු උනා දෙන්නම් කියලා. කෝල් කලාම මෑන් මරු කථා කියන්නෙ “මචං බඩු එන පරක්කුව තමා තියෙන්නෙ. සිංගප්පූරුවෙ ඉඳලා කුරියර් කරලා එවන්නෙ” කීවා දවසක්.

ප්‍රදර්ශනේ සිකුරාදා. බදාදා දෙන්නම්  කියලයි ‍පොරොන්දු උනේ. ඉතින් ප්‍රදර්ශනේට බඩු වගයක් ගන්නත් එක්කලා සුරේන් අයියත් එක්ක තරංග අයියගෙ කාර් එකේ ‍කොළඹ ආවා. එනකොට 1ට විතර ඇති. සුරෙන් අයිය ඇඟපත ති‍යෙන කොල්ලනෙ :) ඉතින් මට කථා කරන්න පැකිලෙන්න ඕනිත් නැහැ.

රිසෙප්ශනිස්ට්ට මාව දැකලම මතකයි. මම ගියාම අහනව “ඇයි ආයෙ ප්‍රශ්නයක් ද ?”මම කීවා “නෑ මම ලැප අරන් යන්නයි ආවෙ කියලා.”

දැන් ඔන්න ආයෙ කරුකුරුව. මම කීව ” ඒව හරියන්නෑ. එක්කො මට වෙන ලැපක් දෙන්න. නැත්නම් සල්ලි ආපහු දෙන්න” ආ‍යෙත් එක එක ඒව කියෝනව. මම කීව ” අද දෙන්නම් කියලා Mr.Sxxxxx ‍පොරොන්දු උනානෙ. අද මට ලැප ඕනෙ” කියලා. සුරේන් අයියා ශේප් එකේ කථාව “අනේ මල්ලි ඕක කරල දෙන්න දැන් දවස් ගානක් මේ මල්ලි ආවනෙ”.

බඩුගන්නත් ඕන නිසා අපි ගියා ටිකකින් එන්නම් කියලා. 5‍ට විතර ගියාමත් එහෙමමයි. හැබැයි Mr.Sxxxxx ඇවිත් හිටියා. ‍කෙනෙක් කීවා “පොඩ්ඩක් ඉන්න අපි සර්ට ‍වෙන එකක් දෙන්නම්” කියලා. රිසෙප්ශනිස්ට් කියනව ” same configuration තියෙන white එකක් ‍තමා දෙන්නෙ” කියලා. මම කීවා “white හරියන්නෑ black ගත්තෙ black ඕනි නිසා blackමයි ඕනි” කියලා.

ටිකකින් තව කෙනෙක් ආව. මාත් එක්ක කථා කරලා ‍බේරෙන්නම බැරි තැන showroom එකට එක්කන් ගියා කැමති එකක් තෝරගන්න කියලා. මෑන් හොඳින් කථා කලාට එතෙන්දි ගණන් ගැන බොරුවක් කළ බව මම ඔප්පු කරලම පෙන්නුවා. price list එ‍කේ තියෙන ගාන‍ටත් වැඩි ගානක් මෑන් කී‍වෙ එක ලැපකට. මෑන්ට හොරෙන් වෙන් කෙනෙක්ගෙන් price list එකක් අරන් බලල මම මෑන්ට ඒක ‍පෙන්නුවා. කට උත්තර නෑ.

කොහොමහරි ලැප ගන්න කලිනුත් මම බලපු Toshiba එකක් තිබ්බා. මෑන් ඒකට සාධාරණ ගානක් කීවා. ඉතින් මම ඒක ගන්න එකග උනා. තව රු.6000ක් දීලා ඒක ගත්තා. Toshiba බෑග් නෑ එයාල ලඟ. ඉතින් ‍ඔරිජිනල් ‍ලෙදර් HP බෑග් එකක් දෙන්නම් කීවා.ඉතින් මම තාමත් back pack එකේ දාගෙන යන්නැති දවසට HP බෑග් එකේ Toshiba ලැප දාගෙන යනවා.

ඔන්න ඔහොමයි වොරන්ටි “ගත්තෙ”.

Toshiba Satellite A505-S6960

Toshiba Satellite A505-S6960

අලුත් ලැපේ බරයි, කැමරාවයි හැර අනෙක් ඔක්කොම ‍හොඳ මට්ටමක තියෙනවා.

මරුම වැඩේ කියන්නෙ පෙබරවාරි අග, මාර්තු මුල වගේ දවස් 2ක කොල් 2ක් දීල එකම කථාව කියනව.

“සර් ලැප් එකක් දුන්න නේද ‍‍ටච් බට්න් වල අප්සෙට් එකක් කියලා. ඒක රෙඩි වෙලා ති‍යෙන්නෙ ඇවිත් අරන් යන්න”

DV6

අහෝ මගේ ලැප ! | Oh my laptop!

18

මේ කථාව කියන්න ඕනෙකමක් තිබුනත් ‍පොඩි පෙළඹීමක් ඇති උනු නිසා දැම්මම ලියලා දාන්න හිතුනා. ලැපක් ගන්න ඉන්න කෙනෙක්ට වි‍ශේෂයෙන් ප්‍රයෝජනවත්  වේවි. නමුත් Laptop Buying Guide එකක් නම් නෙමේ මේක.

කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා ලැපක් ගන්න. සෑහෙන කාලයක් හරියන එකක් ‍හොය හොය ඉඳලා ඔන්න හිත‍‍ට හරියන එකක් හමු උනා කියමුකෝ. Unity Plaza එකේ පඩිපෙළක් ගාවම තියෙන එක ක‍ඩයකින් (නම කෙලින්ම කියන එක හරි නෑනේ) අනිත් ඒවට ‍සාපේක්ෂව ගොඩක් අඩු ගානකට දෙන්නම් කීවා. ලස්සන කථාවකුත් කීවා, ‍”අනිත් ‍කඩවල් ‍වලින් කියන BEST PRICE එක‍ කියන්න, ඊට ව‍ඩා අඩුවෙන් දෙන්නම්” කියලා.

කොහොම හරි ගන්නමයි කියලා සල්ලිත් අරන් ගියා කියමුකෝ. තරංග අයියයි නදීශ අයියයි එක්ක තමා ගියේ (වෙලාවට).  ඉතින් ගානත් කථා කරන් ගන්නම හදනකොට එතන වැඩ කරන තව එ‍ක්කෙ‍නෙක් අහනවා “ඕක ඔය ගානට දෙන්න පුළුවන්ද ” කියලා. දැන් තමා ඕන් සීන් එක පටන් ගන්නෙ. මට ගාන කියපු මෑනුත් දැන් නිකන් අන්දුන්කුන්දුන් වෙලා වගේ.. මෑනුත් අනිත් එකත් එක්ක කථා කරලා එහෙම මට කියනව “‍ලොකු ‍වැරදීමක් වෙලා තියෙන්නෙ මචන්….. DV5 එකේ ගාන මම කියල තියෙන්නෙ. ඒකනම් ඒ ගානට දෙන්නම්. කලින් බලපු එක මෙච්චරක් වෙනව”  කියල. කලින් කියපු ගාන‍ට වඩා 10,000ක් විතර වැඩි ගානක් කීවා මතකෙ හැ‍ටියට. මට ඉතින් මේ සිද්ධිය ඇත්ත…. තරංග අයිය කීවා “ඒව හරියන්නෑ.. අපි ලෑස්ති වෙලා ආවෙ කියපු ගාන‍ට” කියලා (වැ‍ඩිපුර ගානක් අතේ තිබ්බ එක වෙනම කථාවක්).  අර මෑන් මැනේජර් හමුවෙන්නයි කියලා ගියා. අපි එලියට ඇවිත් ටික දුරක් ඈතට ගිහින් හේත්තුවක් දාගෙන කථා කර කර හිටියා කොහෙන්ද දැන් ගන්නෙ කියලා.

ටික වෙලාවකින් මෙන්න අර මෑන් එනව අපිව හොයාගෙන. “මම මැනේජර් එක්කත් කථා කලා. මම ඔයාට ලාස්ට් මේ ගාන දාල සෙන්නම්” කියල ටිකක් අඩු ගානක් කීවා. අපි කථා කරල  එන්නම් කියල හිටියා. මට දැන් මේකව එපා වෙලා. ඒ මදිවට තව කෝල් කරනවත් එක්ක.

තරංග අයිය කියනව “ඕව බිස්නස් ට්‍රිකස් මල්ලි රැවටෙන්නෙපා” කියලා.  මට ඒත් ඕක ගානක් උනේ නෑ එවෙලෙ.

කොහොම හරි අපි වෙන තැනකින් (තැන ගැන කියනවනම් Unity Plaza එකේ වැඩිපුරම ලැප්ටොප් තියෙන්නෙ මේකෙ) කලින් තැනට ව‍ඩා ‍පොඩ්ඩක් වැඩි ගානකට ගත්තා.

පස්සෙ දවසක තමා මට වැඩේ හරියටම තේරුනේ. යාලුවෙක්ට ලැපක් බලන්න ගිය වෙලේ එයා කියනව ඔයිට කලිනුත් ඔය වගේ ‍දෙයක් ‍වෙලා තියෙනව කියල. මේක මේ ක‍ඩේට නුපුරුදු දෙයක් නෙමේ, ඔන්න පරිස්සමින්.

‍ලැප් ‍‍එකේ කතන්දරේ ඔතනින් ඉවර වෙන්නෙ නෑ. ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා. ඒක ඊගාවට කියන්නම්.

Go to Top