මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්.

ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම ගිහින් තියෙන දුම්රියක් නිසා උදේ පොඩි මැණිකේ දුම්රියේ තමා යන්න ‍කථා උනේ.

එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එනකොට සෙනඟ වෙනදට වඩා ඉන්න බව තේරුනා. දුම්රිය නවත්තනකොට තමා ඇඟ හිරිවැටුනේ. දුම්රිය ඇතුලෙත් සෙනඟ පිරිලා. ඇතුලට රිංගන්න බැහැ. මොනා කරන්නද. පාපුවරුවෙත් ඉඩක් හොයාගත්තෙ අමාරුවෙන්. දැන් තමා හොඳම සිද්ධිය.

මම බෑගයක් එල්ලන් හිටියා. පාපුවරුවෙ යන්න පුළුවනෑ ඒකත් එල්ලන්. ඉතින් ජනේලෙකින් ඇතුලෙ කෙනෙක්ට කීවා බෑග් එක තියා ගන්න කියලා. මේ මනුස්සයෝ කීවනෙ බැහැයි කියලා. මට මාර තරහක් ආවෙ එවෙලෙ.

මේකද මනුස්සකම? අපිට නම් කොහොමටවත් ඔහොම ඉල්ලීමකදි බෑ කියන්න හිතෙනවද? අපි ඉඳගෙන ඉන්න වෙලාවක නම් පුළුවන්නම් හිටගෙන ඉන්න කෙනෙක්ගෙ බෑග් එකක් ඉල්ල ගන්නවා මිස ඉල්ලීමක් කළාමත් බෑ කියන්න කොහෙත්ම හිතෙන්නෙ නැහැ. බලන්න ලංකාවෙම තවත් පිරිසකගෙ සිතුම් පැතුම් වල වෙනස. තමන් ගැන පමණක්ම සිතන ආත්මාර්ථය ඉහේ තියන් ඉන්න උන් ටිකක්.

යන්තම් කොහොම හරි පාපුවරුවෙ හිටිය තව කෙනෙක් මගේ බෑගය බලෙන්ම ඇතුලේ කෙනෙක්ට දුන්නා. දුර ගමන් යන දුම්රියක වින්දනය සඳහා පාපුවරුවේ ගමන් නොකරන බව තේරුම් ගන්න බැරි ඇයි?

සෑහෙන දුරක් ගියායින් පස්සෙ පොඩ්ඩක් පාපුවරුවෙන් ඇතුල් උනා. එතන අත දරුවෙක් වඩාගත් පිරිමි කෙනෙක් හිටගෙන ඉන්නවා. ඒ  අය කියනවා “කොළඹින් නැගලත් ඇතුලට යන්න ඉඩක් නැහැ. බෑග් එක දාගන්න ඉඩක් නෑ” කියලා. දරුවෙක් වඩාගෙන ඉන්න කෙනෙක් දුම්රියක හිටගෙන යාම විරල දසුනක්.

යන්න ඉඩ නැතිම තැන බිම තිබුණු බෑග් උඩ නැගගෙන තමා පේරාදෙණියට යනකම් ගියෙ.

අපි එන්න එනකොට මහනුවර දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර ගන්න අහනකොට “ටිකට් දෙන්නම් හැබැයි කොච්චියෙ සෙනඟ, ආයෙ රිටර්න් කරන්න බෑ” කීවා. එච්චරටම සෙනඟ නම් ඇයි අඩුවශයෙන් පොල්ගහවෙලට එනකම්වත් තව දුම්රියක් දාන්න බැරි?

මොනා උනත් තේරුම්ගන්න තියෙන්නෙ උත්සව කාලෙට දුම්රියේ දුර ගමන් ‍යෑම අවම කරන්න ඕනි කියන එක.

ඒක එහෙමයි කියමුකෝ. අද (19) විශ්ව විද්‍යාලයයට එන්නයි කියලා වෙනද වගේම මීරිගමින් 5.58 දුම්රියට නැග්ගා. ඔන්න වේයන්ගොඩදි ඒකෙ කාර්මික දෝශයක්. මේක ඩබල් සෙට් එකක්. තේරෙනවනෙ සෑහෙන පිරිසක් හිටපු බව. ඉතින් ඔන්න මේ දුම්රිය යන්නෙ නැති නිසා ඊලඟට ආපු දුම්රිය‍ට නැග්ගා. දැන් දුම්රිය දෙකේම සෙනඟ එකක. ඊගාවට ඒක නැවැත්තුවා ගම්පහ , ගණේමුල්ලෙ සහ රාගම. රාගමදි ඔන්න මේක අද්දන්නෙත් නෑ.

සමහර විට සෙනඟ හොඳටම වැඩි නිසා වෙන්නැති. ඉතින් මිනිස්සුන්ටත් හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවනෙ. කට්ටියක් ගිහින් ගාඩ් මහත්තයට හොඳහැටි කථා කළා. ඔන්න ඉතින් ඒකෙනුත් හොඳ ප්‍රතිඵලයක් “පළමු වන වේදිකාවේ නවතා ඇති දුම්රිය කාර්මික දෝශයක් නිසා ප්‍රමාදවී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සලකන්න” ඒ කාර්මික දෝශය ඇති උනේ කොහොමද කියල තේරෙනවනේ? කරුණාවෙන් තමා සලකන්න ඕන.

ඔන්න තව පවර්සෙට් එකක් ආවා. ඉතින් ගොඩක් අය ඒකට රිංගන්න හදනවා. අන්තිමට ඒක යන්නෙත් නෑ.

පස්සෙ ආපු පවර්සෙට් එකට මිනිස්සු නගින්න හදන හැටි

පස්සෙ ආපු පවර්සෙට් එකට මිනිස්සු නගින්න හදන හැටි

පින්තූරෙන් තේරුම්ගන්නකෝ කොච්චර සෙනඟක් හිටියද කියලා.

රාගම දුම්රිය ස්ථානයේ සෙනඟ

රාගම දුම්රිය ස්ථානයේ සෙනඟ

කොහොම හරි මේ දුම්රිය 2ම තියෙද්දි වෙන දුම්රිය 2ක් ආව යන්තම්. ඒ 2න් දෙවෙනි එකේ යන්තම් ගියා.

මරදානෙ ටිකට් එකතු කරන කෙනෙක් තව කෙනෙක්ට කියනවා ඇහුනා “අර මිනිහා මට හරකා කියලා බැන්නා” කියලා.

දාඩිය පෙරාගෙන කැම්පස් එකට යනකොට 9යි වෙලාව. (වෙනදට 7.50) අනේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දේ පළමු දේශනයත් මට නැති කළා.